වරිපනම් අය කිරීම

1.    හැඳින්වීම‍

        ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් විසින් ද ස්වකීය බල ප්‍රදේශය තුළ ගාස්තු අය කිරීමකින් තොරව සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූරණය කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එකී පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අනුපාතයක් යටතේ අය කරන ගාස්තුව, වරිපනම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රදේශයක් ඇතුළත සේවා සැපයීමට දරනු ලබන මුළු වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික වටිනාකම්වල එකතුව අතර අනුපාතය (ප්‍රතිශතය), එවැනි යම් දේපළක වාර්ෂික වටිනාකමෙන් ගුණ කිරීමෙන් ගණනය කරන මුදල එම දේපළ වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික වරිපනම වනු ඇත. ඉහත ආකාරයෙන් පළාත් පාලන ආයතනය විසින් මෙම ප්‍රතිශතය වාර්ෂිකව ගණනය කර තීරණය කරනු ලැබේ. වරිපනම් යනු බද්දක් නොවේ.

2.    නෛතික අධිකාරිය

        1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් එම ආයතනවලට නියම කර ඇති කාර්ය හා කර්තව්‍යය කිරීමේ දී හා ඉටු කිරීමේ දී දරනු ලබන වියදම ප්‍රතිපූරණය කර ගැනීමට –

        (අ)   ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට වරිපනම් නියම කර අය කර ගැනීමට බලය පැවරී ඇත.

3.    සුදුසුකම් / අදාළ වීම

        (අ)   කිසියම් පළාත් පාලන ආයතනයක වරිපනම් අය කිරීමට යටත් ප්‍රදේශයක පිහිටා ඇති හා එම ආයතනය විසින් තීරණය කරනු ලබන යම් නිශ්චල හෝ නිශ්චල දේපළ වර්ගයකට දේපළක් විය යුතු ය.

        (ආ)  එකී යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. (දේපළෙහි පදිංචිකරු එකී දේපළෙහි අයිතිකරු වුව ද නොවුන ද එහි පදිංචිකරු – සභාව විසින් සපයනු ලබන සේවාවෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා – වරිපනම් ගෙවීමට යටත් තැනැත්තා විය යුතු ය)

4.    ගෙවිය යුතු ගාස්තුව

        (අ)   පළාත් පාලන ආයතනය විසින් දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට නිකුත් කරනු ලබන තක්සේරු නිවේදනයෙහි දැක්වෙන මුදල ගෙවිය යුතු ය.

        (ආ)  තක්සේරු නිවේදනය බාරදෙන අවස්ථාව වන විට කලින් ගෙවිය යුතු වරිපනම් හිඟයක් වේ නම්, එම මුදල කොපමණ ද යන්න එහි සඳහන් කර ඇත. එම හිඟ මුදල ද පියවිය යුතු ය.

        (ඇ)  මෙම වාර්ෂික වරිපනම එකවර හෝ කාර්තු පදනමෙන් ගෙවීමට අවස්ථාව ඇත.

        (ඈ)  කිසියම් දේපළක් වෙනුවෙන් ගෙවිය යුතු වරිපනම් ප්‍රමාණයෙන් මුළු වර්ෂයට ම අදාළ මුදල නියමිත වර්ෂයේ ජනවාරි මස 31 දිනට පෙර ගෙවනු ලබන්නේ නම්, එම මුළු මුදලෙන් 10 % ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ලබා ගත හැකි වන්නේ වර්ෂය ආරම්භ වීමට පෙර පැවති හිඟයක් වේ නම්, එම හිඟය ද ඒ අවස්ථාවේ දී ම පියවන්නේ නම් පමණි)

        (ඉ)   එසේම වර්ෂයේ කිසියම් කාර්තුවකට අදාළ වරිපනම, එම කාර්තුවේ පළමු මාසය අවසන් වීමට පෙර ගෙවනු ලබන්නේ නම් එම කාර්තුවට අදාළ මුදලෙන් 5% ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ගෙවීමේ දී ද පූර්ව කාලයට අදාළ ව හිඟ ඇත්නම් පියවීමට යටත් විය යුතු ය)

5.    ඉදිරිපත් කළ යුතු ලේඛන

        (අ)   පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද තක්සේරු නිවේදනය.

        (ආ)  තක්සේරු නිවේදනය නොමැති යම් අවස්ථාවක, අදාළ දේපළෙහි පිහිටීම (පාර, වරිපනම් අංකය, ලිපිනය) දැක්වීමෙන් මෙම තොරතුරු හඳුනා ගැනීමට පෙරටු කාර්යාල නිලධාරියාට පහසු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *