හැදින්වීම

෴හැදින්වීම෴

අරණායක ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය

1987.12.31 වන දින දක්වා ක්‍රියාත්මක වූ කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ අරණායක උප කාර්යාලයත්, වාකිරිගල උප කාර්යාලයත් ඒකාබද්ද කරමින් වර්ග කිලෝමී‍ටර් 118.84 යුක්ත අරණායක ප්‍රාදේශීය සභාව 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතින් 1988.01.01 දින සිට ක්‍රියාත්මක වන සේ සංස්ථාපනය කරන ලදී.

1988.01.01 දින සිට 1991 මැයි මාසය දක්වා විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයට යටත්ව පැවැති මෙම ප්‍රාදේශිය සභාව 1991 මැයි මාසයේ පවත්වන ලද ප්‍රථම ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් දහසය දෙනෙකුගෙන් යුතු මන්ත්‍රී මණ්ඩලයක් පාලක පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් විය.එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු  නව දෙනෙකුද පොදු පෙරමුණේ මන්ත්‍රීවරු හය දෙනෙක්ද හා ස්වාධීන මන්ත්‍රීවරු එක් අයෙක්ද තේරී පත්වූ අතර එහි ප්‍රථම ගරු සභාපති වූයේ ඩබ්.ඇම්.අබේබණ්ඩා මැතිතුමාය.  

නැවතත් 1996 ජනවාරි මස 29 වන දින විසුරුවා හැරීමෙන් පසු අරණායක ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පාලනය කරන ලදී.නැවත 1997 මාර්තු මස පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී දෙවන වරටත් එක්සත් ජාතික පක්ෂය පාලක පක්ෂය වශයෙන් තේරී පත්විය.එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු නව දෙනෙකුත්,

පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු හත් දෙනෙකු වශයෙන් තේරී පත්වු අතර ඩබ්.ඇම්.අබේබණ්ඩා මැතිතුමා ගරු සභාපති ලෙස දෙවන වරටත් තේරී පත් විය.

නැවතත් 2002 අප්‍රේල් මස 05 වෙනිදින පැවැති පළාත් පාලන මැතිවරණයෙන් තුන්වන සභාව තේරී පත්විය. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු එකොළොස් දෙනෙකුත් පොදුජන එක්සත් පෙරමුණෙන් මන්ත්‍රීවරු හතර දෙනෙකුත් ප්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් තේරී පත්විය. මෙහිදී ගරු සභාපති වශයෙන් ඊ‍් විජේසිංහ මැතිතුමා තේරී පත්විය.2002 අප්‍රේල් මස 16 වන දින දිවුරුම්දීමෙන් පසු තෙවන සභාවේ ජනතා සේවාව ආරම්භ කරන ලදී.

නැවතත් 2006 මාර්තු 30 වෙනි දින පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සිව්වැනි සභාව තේරී පත්විය.මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා පාලක පක්ෂය වශයෙන් බලයට පත්විය.මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් දස දෙනෙකුත් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු පස්දෙනෙකුත් දෙවන වරටත් ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් තේරී පත්විය. මෙහිදී ගරු සභාපති වශයෙන් ඩබ්.ආර්.ගාමිණී සනත් බණ්ඩාර මැතිතුමා තේරී පත්විය.2006 අප්‍රේල් මස 16 වෙනි දින දිවුරුම්දීමෙන් පසුව සිව්වන සභාවේ ජනතා සේවාව ආරම්භ කරන ලදී.

2011 මාර්තු 17 වැනි දින පැවැති පළාත් පාළන මැතිවරණයෙන් පස්වන සභාව තේරී පත්විය. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණයක් ලබා පාලක පක්ෂය වශයෙන් දෙවෙනි වරටත් බලයට පත්විය.මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දොළොස්දෙනෙකුත් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු හතර දෙනෙකුද තේරීපත්විය.මෙහිදී ගරු සභාපති වශයෙන් ආර්.දිනේෂ් ගුණරත්න මැතිතුමා තේරී පත්විය.2011 මාර්තු 31 වැනි දින දිවුරුම්දීමෙන් පසුව 2011 අප්‍රේල් 5 වන දින සභාවේ ජනතා සේවය ආරම්භ කරන ලදී.

2015.05.15 දින පස්වන ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමෙන් පසුව සභාවේ සහ ගරු සභාපතිවරයාගේ, උප සභාපතිවරයාගේ සහ ලේකම්ගේ පනත අනුව පැවරුණු බලතල සියල්ල (සභාවේ කාර්යයන් හා කර්තව්‍යන් ඉටු කිරීම සඳහා) 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 9.3 වගන්තිය අනුව ලේකම් වෙත පැවරිණි.ඒ අනුව සභාවේ කටයුතු ලේකම් විසින් 2018.03.27 වැනි දින දක්වා ඉටු කරන ලදී.

2012 අංක 22 දරණ පළාත් පාලන ආයතනයන්ද (සංශෝධන) පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 66 ඈ වගන්තිය යටතේ සබරගමුව පළාත් පාලන කොමසාරිස්වරයා බී.ඒ.ජී.ජී.බමුණුආරච්චි මහතාට පවරා ඇති බලතල අනුව 2018.03.26 වැනි දින 06 වැනි සභාවේ ගරු සභාපතිවරයා හා උප සභාපතිවරයා තෝරා පත් කරන ලදී. 31 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මඩුල්ල තුළ සභිකවරුන් විසිහතරක් හා කාන්තා සභිකවරියන් හත්දෙනෙක් යුක්තය.තවද පක්ෂ අනුව මෙහිදී එක්සත් ජනතා සංවිධානය දහහතර දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් දස දෙනෙකු ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හතර දෙනෙකුත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් හා ස්වාධීන සංවිධානයෙන් දෙදනෙකුත් තේරී පත් විය.2018.03.28 දින පෙ.ව 9.00 යෙදුන සුභ මොහොතින් ගරු සභාපති තුමා වශයන් කේ.ඒ.එන්.සෙනවිරත්ත මැතිතුමා නව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී .

  2023.03.20 දින හයවන සැසි වාරය විසුරුවා හැරීමෙන් පසුව 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 9.3 වගන්තිය අනුව  මහාසභාවේ , ගරු  සභාපතිවරයාගේ හා උප සභාපතිවරයාගේ වෙත පැවරුණු බලතල කාර්ය කර්තව්‍ය ඉටු කිරීමේ නිලධාරි ලෙස   ලේකම් වෙත පැවරිණි.